මෙය බටහිර හඳුන්වන්නේ milk fever යන නාමයෙනි. කිරි දෙන මවුවරුන්ට හටගන්නා උණ රෝගී තත්ත්වයකි. මෙම තත්ත්වය මවගේ කිරි එරීම ආරම්භයත් සමගම මතුවේ. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ “ස්තන්යාගමෝත්ථජ්වර” යන නාමයෙනි. මේ පිළිබඳව ආයුර්වේද මූල ග්රන්ථ වල දක්වා ඇති විස්තර ඇසුරෙන් මෙම පැණයට පිළිතුරු සකස් කෙරී ඇත.
ප්රසුතිකාව හට ප්‍රසූතියෙන් පසුව තෙවැනි හෝ සිව්වැනි දිනයෙහිදී පයෝධරයන්හී කිරි පැවැත්ම සිදුවෙයි, හෙවත් කිරි එරීම සිදුවෙයි. මුලින්ම එරෙන කිරි මගින් කිරි ස්රාවය වන දුග්ධවාහි ස්‍රෝතස(කිරි නාල) අවරෝධ විමක් සිදුවේ. ඒ හේතුවෙන් පයෝධරන්ගේ තදබව(කිරි පිරීම නිසා මහත්වැ තදවී තිබීම) පිපාසය, හෘදස්පන්ධනය වේගවත්වීම, උදරය දෑලවර හා කඨි ප්‍රදේශයේ වේදනාව, ඇඟ මැඩීම, හිසරදය යන ලක්ෂණ පහල වන අතර මෙයට කිරි උණ යන්න බාවිතා වේ. මෙය කිරි ශුද්ධ වීමත් සමගම ක්‍රමයෙන් සුවපත් වන තත්ත්වයකි.
ප්රසූතිකාවට පළමුවෙන්ම පයෝධරයන්හී එරෙන කිරි සංශුද්ධිය අපේක්ෂා කරණ නියම කිරට වඩා ඝන පදාර්ථයක් හෙයින් දුග්ධවාහි ස්‍රෝතස අවරුද්ධ කිරීම පහසුවේ. (Colostrums නමින් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි හඳුන්වන්නේ මෙම සාන්ද්‍ර ද්‍රව පදාර්ථයයි.) ස්‍රෝතස් අවරෝධ කරන්නේ මෙම කිරි මගිනි. මෙම කිරි මෘදු විරේක ගුණයෙන් යුක්ත නිසා එය බීම මගින් බිළිඳාගේ අන්ත්‍රවල පරණ වූ මැලියම් වැනි කොළපාට ,muconium නැමැති ජන්ම මල පහව යයි. බිළිඳාට ඉතාම ගුණදායක මෙම කිරි කොටස මවගේ ශරීරයේ ජ්වර තත්ත්වයක් ඇති කලත් එමගින් දරුවාට ලැබෙන පෝෂණයත් එය මවගේ පයෝධර වලින් ඉවත් වීමත් සමගම මවට සහනයක් දැනීමත් සම්බන්ධ කල විට හැඟී යන්නේ ළදරුවාගේ පෝෂණය උදෙසා එම කිරි කොටස මව විසින් අපහසුවෙන් සිටියදී වුවත් අනිවාර්යයෙන්ම දීම කොතරම් වැදගත්ද යන කාරණයයි.